Saturday, December 27, 2014

9. නිකම් ඉන්න බැරුවට ලියපු ගීයක්....








මේක කියවලා ඔන්න ගැනුලමයි එහෙම මට කඩු පොලු දික් කරන් එනවා එහෙම නෙවෙයි....
බස්සි...ශානු...විශේෂයෙන්ම ...
හරිද.....

කට කහනවට ලිව්ව එකක් මේක....
මුණු පොතේම එල්ලිලා ඉන්න දුවෙක් ගැන අම්මෙක් ට දැනෙන අන්දම.....

කිරිහොද්දක් හදාගන්න
තවමත් බැරි මගේ දෝණි
මුණුපොතේ රස මසවුලු
දැනුම බෙදනවා.....

මැහුම් ගෙතුම් අත්කම් වැඩ
උපන්තේට නොකළ දැරිවි
අන්න බොලේ මම මහපුව
පොටෝ දානවා ....

මිදුලක ඉදලක් අල්ලා
නැති වුනාට කවදාවත්
හරි ලස්සන මල් පාත්ති
වවල තියනවා..

ලයික් කොමෙන්ට් ගැන ගැන නිති
හරි සතුටෙන් ඉන්න උඹව
දැක්කම මට අනේ අපොයි
කියල හිතෙනවා....

පාඩම් වැඩ අතපසු වි
විභාගයට මුණ දෙන්න
තව මහ කල් නැති බව
උඹ හොඳින් දන්නවා ...

ඒක මතක් කරපුවාම
මානව හිමිකම් අරුමය
නීති පොතෙන් අරන් මටත්
කියාල දෙනවා ...

බලු සුරතල් දරු සුරතල්
ඔය ඔක්කොම බලන් කියන්
මුණු පොතට උඹේ කාලය
ඔහේ මැරෙනවා...

අප්පච්චියි මායි ඉතින්
නොදන්නමුත් නව ලෝකය
උඹේ ගමන හරි කෙටි බව
ඉවෙන් දන්නවා....

ඉස්කෝලෙට කාසි පනම්
හොයාල දෙන දාඩිය බිඳු
මුණු පොතේ කොහෙවත් නෑ
කියල දන්නවා....

නව පන්නෙට ඇඳුම් ඇඳපු
කවුරුන්දෝ දෙමව්පියන්
නුඹේ පිටුවක හිනාවෙනව
මටත් පේනවා....

සමනල් ලොව හරි සොඳුරුයි
ඒත් අඳුර හරිම ලඟයි
වයසට හා ඉවට මගේ
නිතර දැනෙනවා...

ඕන කෙහෙල්මලක් වෙන්න
අද නම් මම උඹේ අම්මා
දුරකතනය අරන් ඉතින්
පොළවෙ ගහනවා..



Saturday, November 29, 2014

8.ඇය යන්න ගියා මැකිලා...




අමරසිරි පිරිස් මහතාගේ  'ඇය යන්න ගියා මැකිලා..' ගීතය අසද්දී මගේ හිතට හැමදාමත් දැනෙන්නේ මහා දුකක්....
ඒ කුමක් නිසාද කියා හරියටම කියන්නට අමාරුයි...
නමුත් ඇහැට කඳුලක් ගෙනෙන මේ ගීය එක්ක...මට දැනෙන දේ මම මේ ලියා තැබුවේ....





හිතක් වී නම් එතරම්
කඳුලින්ම පෑරුණු
එහෙත් නිහඬව
සියලු ගිනි ඉසිලූ...
ඒ ඇයයි..
අම්මා......


ගීතයක් සේ ගලා ගිය ඇය
හෙමින් නිහඬව
සිහිල් ගුණයෙන්
තනා බාධක සිඳාලූ ලොව
කොහේ කවදා
යළි දකීවිද...

කිසිත් නොදොඩා යන්න ගිය ඇය
හෙලූ කඳුලක දැනේ උණුසුම
අදත් කවියක
එකම පදයක
යළිදු සොයනෙමි
ඒ සිහිල් ගුණ....

වසත් කාලය ඉකුත් වනු ඇත
යළිදු ඈ මෙහි නොඑනු නිසැකය
හිනාවෙන් පිරි මුවග දක්වා..
නමුදු තවමත් සොයමි
මම ඇය
අහිමි කවියක
මෙහි තබා ගිය...

Saturday, November 22, 2014

7. එදා මෙදාතුර.........





    




එදවස
පැහැසර ව පිපුණු
මල් කොතෙක් තිබුණිද
මේ නිම්නයෙම
මා සැරිසරන...
අද
වියැළි තණ පත් පමණි
එකදු පැහැයක් නොරඳ
පඬුපාට පමණක්ම
ඉතිරි කල

Saturday, November 15, 2014

6. අම්මා...

                                                                    .........අම්මා......

අම්මා කියන්නේ කවි උල්පතක්.....ජිවිතේ කවදාවත් නිම නොවෙන ඒ මව් සෙනෙහසට මේ කව් පෙළ උපහාරම වේවා...










කඳුලින් පිරි නෙත් අද්දර සුසුමක් වුන අම්මා
රෑ දහවල් නිදි නැති සිත සනසා ලූ අම්මා
සෙනෙහස් හිත මැලවුණදා විඳි කඳුලක නිම්මා
කොහේ සිටන් හෝ හිත ලඟ තනිරකීද අම්මා...

වතුසුදු මල් පැන් කලසේ නහවා ලූ අම්මා
බෝ මලුවේ හත් වට ගොස් සෙත් කවි කී අම්මා
හිත කඳුලින් බතක් උයා බලා හිඳින අම්මා
කවදා නුඹෙ මුව අද්දර සිනහ දකිම් අම්මා...

පායන හිරු සදිසි පුතුන් පැතු වේදැයි අම්මා
හිරු මඬලේ දාහය යට හිස තැවුනිද අම්මා
විඳි දුක් ගිනි උහුලා ගෙන හසරැල් පෑ අම්මා
මතු සසරේ මගෙම වෙන්න නිවන් නොදැක අම්මා..


Sunday, November 9, 2014

5.. කඳුලක්ම මිස අන් යමක් නොවේ...



විඳින්නට නොවේ.......දැනෙන්නට පමණි....







රෑට සුණු සහල් විඩ බතක් කොට උයා ගෙන
ලුණු මිරිස කට දන්න හදා දී රහ බැලුව
උදේ පාසල් යන්න කලින් මුව සිඹ ගත්ත
අම්මෙ උඹ පස් ගොඩට යට වුනේ කෙලෙසින්ද..


ඉරි තැලුණ බිත්තියක එලූ කඩමාලු ගෙන
තේ දල්ල එකින් එක නෙලන්නට ගියෙ නැද්ද
ගේ ඉහත්තේ කන්ද හැමදාම අපි දැක්ක
හෙන කඳක් සේ ගෙවල් යට කරන් ගියෙ කොහොම...


මල් මිටක් අතට ගෙන පාර අයිනේ උන්න
එහෙම දවසක් තිබුණි වේල සරි කරගන්න
අප්පොච්චි ගේ සුසුම් උඹ ලඟම සැඟවුණිද
අම්මෙ ඒ වෙලාවෙත් උඹට මා සිහිවුණිද...


හැමදාම ගෙට උඩින් මහා හෙවනක් දුන්න
ඒ කන්ද පස් ගොඩක් වුනේ කොයි විලසින්ද
ඉස්කෝලෙ නොයා ඉන්නට හැදූ මට ඉන්න
නොදී උඹ අප්පොච්චි එක්ක ගියෙ ඇයි මෙහෙම...





Thursday, November 6, 2014

4...ඇස්....

                                                                -------------ඇස් --------------






                                                                    බසයේ කවුලුවෙන්
                                                                    බලා උන්නෙමි ඉවත
                                                                    පසුවෙවී ඇදෙන
                                                                    දහසකුත් එකක් මුහුණු
                                                                    හමු වෙවී වෙන් වෙන
                                                                    ඇස් මානයෙන් දුර ඇදෙන


                                                                   පෙම්වතෙකු දෑතේ වෙලෙන
                                                                   සුන්දරම වූ යුවතියක
                                                                   ඇස් දිටිමි අහම්බෙන්
                                                                   කතා නොමැතිව උනුන්
                                                                   දහසකුත් දේ කියන
                                                                   ඇස්...


                                                                  මවුන් ඇකයෙන් ගිලිහ
                                                                  කුණු කානුවක් අසල
                                                                  ඉඳුල් බත් සුණු බුදින
                                                                  කිළිටි වත ඔසවමින්
                                                                  මා දිහා බැලු
                                                                  ඇස්...


                                                                  කඳුලු කබ පුරා ගිය
                                                                  හැඟුම් විරහිත ලෙසින
                                                                  දුර ඈත බලා උන්
                                                                  වියපත් වු මහලු ගත
                                                                  අවසඟව දරා උන්
                                                                  ඇස්....


                                                                  මත් වෙමින් සුරා සැල්
                                                                  දොර අගින් නික්මෙනා
                                                                  පඩි පතක සොච්චමද
                                                                  අනුන් හට පුද කරන
                                                                  පියෙක් යැයි නොකිව හැකි
                                                                  මිනිසෙකුගෙ
                                                                  ඇස්...


                                                                  හෙම්බත් ව බලා ඉමි
                                                                  මේ ඇදෙන ඇස් අතර
                                                                  නෙතු පියා ඉසුඹු ලමි
                                                                  නිවා ලනු රිසින්
                                                                  මගේ
                                                                  ඇස්....

Wednesday, October 29, 2014

3. Happy නෙලූ හත්පෙති මල....

happy ගේ කතන්දර කියවන කොට කම්මැලි හිතුනොත් කරන්න ඕන දේ මම කියන්නද....
හිත හදාගෙන අනේ කොහොම හරි කියවන්න...
මොකද මේ happy පුදුම අමාරුවකින් මේ ලියන්නේ...නොලිය ඉන්න ගියාම...නිකම් කහඹිලියා ගෑවුනා වගේ happy නලියනවා....


ඉතින් මේ අද මුලින්ම ලියන්නේ happy නෙලපු මලක් ගැන.....මේක හත්පෙති මලක්...අර ශේන්යා ට හම්බ වුන මල වගේමයිද මන්ද....
හැබැයි අන්තිමේදී ශේන්යා වගේම happy ත්  හත්පෙති මල නෙලලා ඉවර වුනාම happy ත් හරිම happy එකේ උන්නලු....

ඔන්න ඉතින් අහන්නකො මේ හත්පෙති මල නෙලපු හැටි....

happy උදේ වැඩට යන්න එනවා නේ කෝච්චියට...හැබැයි එන අතරමග තෙල් බෙදල..හිනා වෙලා හක්ක රිදී රිදී තමයි happy වැඩට යන්නේ...සමහර දාට කෝච්චියේ ගාඩ් මහත්තයත් happy ට රවනවලු....අන්තිම මොහොතේ බෙල්ල කඩාගෙන දුවනවා කියල...happy අහිංසකයි නේ අනේ..ඒකටත් හිනාවෙලාම  නැහුණා වගේ යනවා....

කොහොමින් කොහොම හරි ඔන්න happy කෝච්චියට නැගල...මහා සංග්‍රාමයක් කරලා වාඩි වුනාලු සීට් කොනක..... කෝච්චිය යන කල් අතට ගත්තා බෑග් එකේ ගෙන ආව කවි පොත.....මේක ගත්තේ නම් බුක්ෆෙයාර් එකෙන්ලු..ඒත් කියවලා නැහැනේ මේ වෙනකල්....


කවි පොත අතට අරන් පිටුවක් දෙකක් කියවද්දී ඕන්න එනවා අර නිදිමත කියන වටිනා සංකල්පය...නිදිමත කඩාගෙන අමාරුවෙන් ඇස්දෙක ඇරන් ඉන්නෙ මොකටද කියල හිතල ඔන්න happy ඇස්දෙක වහගත්තා...

ස්ටේෂන් දෙකක් තුනක් යන්නට ඇති...ඇහැරුනේ කවුද හෙමිට පයින් අනින කොට...මෙන්න බලද්දී ගජ ඉලන්දාරියෙක්...පයින් අනිනවා විතරක් නම් මදැයි...මගේ සාරි පොටෙනුත් අල්ලාගෙන...හරියට ඒක එයාගේ වගේ...

අහල පහල ඉන්න අය කොහොමත් හොඳටෝම නිදි නේ මෙහෙම වෙලාවට...අපරාදේ කියන්න බැහැ මගේ දෙපැත්තෙන්ම උන්නේ හිරිමල් වියේ ගැහැණු ළමෝ තුන් හතර දෙනෙක්...එක්කෙනෙක් වත් නෙවෙයි අර අපූරු ඉලන්දාරියා දිහා ඇහැක් ඇරලා බලන්නේ...මේ උන්දැත් අච්චර කෙල්ලෝ ඉද්දි මගේ දිහාමයි බලන් ඉන්නෙ....

මම හෙමිට ඔලුව වනල ඇහුව මොකෝ කියල....අප්පේ මුණේ ඇදුන හිනාව....සිරියාවේ බෑ....තව චුට්ටක් ආවාවෙකෝ ලඟට කියල මාත් හිතුව..දෙන්නම් උන්දැට අමතක නොවෙන පාඩමක් කියල...මෙන්න ටිකක් වෙලා යද්දී මෙයා හෙමිට සෙනග අස්සෙන් එනවා මං ලඟට...

වටේ පිටේ අයටත් දැන් දැන් වැඩේ ලාවට වගේ තේරිලා...ඔක්කොම බලන් ඉන්නෙ වෙන්නේ මොකක්ද කියල...happy ත් බලන් උන්නා...ඉලන්දාරියා ළඟටම ඇවිල්ලා මෙන්න happy ට හොඳටම හේත්තුවක් දැම්මා...අප්පේ ඉතින් තව කොහේ බලන් ඉන්නද ...happy නැගිටලා ඉලන්දාරියට සීට් එක දුන්නා....නිකමට වත් thank u ...කිව්වෙවත් නැතුව මෙයා ඉඳගත්තේ සාරි පොටත් අල්ලගෙනම...

happy ගේ ඇස්දෙක ට කඳුළු එන්නේ නිරායාසයෙන්....ඉලන්දාරියාගේ කකුල් දෙකේ යකඩ සපත්තු...දණහිසේ ඉඳන් පහලට යකඩ පටි දාල ගාඩ් එකත් දාල...happy ඉලන්දාරියාගේ අතින් අල්ලගත්තා...ඒ මුණ පුරා ඇදුන හිනාව හරිම සුන්දරයි....ලෝකේ තියන ලස්සනම හිනා වලින් එකක්....happy ගේ දවසම ලස්සන වෙයි මේ හිනාවෙන් පස්සේ...happy ට හිතුනා...

happy කෑම ගෙනියන බෑග් එකේ චොකලට් එකක් තිබුණා වගේ happy ට  ලාවට මතකයි...හෙමිට බෑගයට අත යවලා ඒක අරන් ඉලන්දාරියාගේ අතේ හොරෙන් තිබ්බාම මේකා ට ගිය මල් මල් හිනාව....

happy ඊළඟ ස්ටේෂන් එකෙන් බහින්න යද්දී....ඉලන්දාරියා happy එක්ක හොඳටම යාලුයි...අතේම දැවටිලා...
ඒත්..මොකෝ වැඩට එක්ක යන්නය....
happy....දුකෙන් වුනත් මුණ අතගාල සමු ගත්තා...

"යන්නම් පුතේ...."
ඉලන්දාරියා බෝල ඇස්දෙක කරකවලා ඔලුව වැනුවා....
සීට් එකට වඩා ඉලන්දාරියට ඕන වුනේ...ආදරේ...සැලකිල්ල...කියල මම ඒ වෙලාවේ තේරුම් ගත්තා...

මේ ගජ ඉලන්දාරියට ඕනනම් වයස ....4ක් විතර වෙන්න ඇති..බොරැල්ලේ ළමා රෝහලේ විකලාංග සායනයකට යන මේ ඉලන්දාරියා මට මතක් කලේ ශේන්යාගේ හත් පෙති මලේ උන්න යාළුවා...

happy....ඇත්තටම හත් පෙති මලෙන් වටිනාම පෙත්තක් නෙළුවා කියල...happy ට හිතුනා....